PGRC- Biotechnology [Sinhala]

පැ.ජා.ස.ම උප ඒකක

ජෛව තාක්ෂණය සහ පටක රෝපණ අංශය

නවීන ජෛව තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් ජාන ප්‍ලාස්ම සංරක්ෂණයේදී සහ ඇගයීමේදී ජෛව තාක්ෂණ අංශය මගින් වැදගත් මෙහෙයක් ඉටු කෙරේ. ජෛව තාක්ෂණ අංශය, නලාස්ථ සංරක්ෂණ විද්‍යාගාරයකින් හා අනුකජිව විද්‍යාගාරයකින් සමන්විත වේ.

නලාස්ථ සංරක්ෂණය යනු විෂබීජ වලින් තොරව පාලිත තත්ව යටතේ විදුරු නල තුළ පැළෑටි ස්ථාපනය කිරීම මගින් ජාන ප්ලාස්ම සංරක්ෂණය කිරීමයි. මෙම අඩු වර්ධන වේගය සහිත සංරක්ෂණ ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් අඩු උෂ්ණත්ව යටතේ බිජ ලෙස සංරක්ෂණය කල නොහැකි බෝග සංරක්ෂණය සඳහා භාවිතා කරයි. එමනිසා වර්ධකව ප්‍රචාරණය වන මුල් සහ අල බෝග සහ බොහෝ නිවර්තන කලාපිය පළතුරු බෝග මෙම ආකාරයට සංරක්ෂණය කල හැක.

එමෙන් ම ජෛවතාක්ෂණ අංශය, නලාස්ථ සංරක්ෂණ හා පැළෑටි ජාන සම්පත් ප්‍රයෝජනයට ගැනීම පිලිබඳ විවිධ ආකාරයේ පර්යේෂණ සිදු කරනු ලබයි. ජාන සම්පත් දිගු කාලීන සංරක්ෂණ සඳහා අධි ශීත සංරක්ෂණයේ භාවිතය පිලිබඳ දැනට පර්යේෂණ ක්‍රියාවට නංවා ඇත.

ජෛව තාක්ෂණ අංශයට අයත් අණුක ජීව විද්‍යා ඒකකය මගින් ජාන බැoකුව තුළ සංරක්ෂණය කරනු ලබන ජාන ප්ලාස්ම, අණුක විද්‍යාත්මක ලාක්ෂනිකරණය මගින් ජාන සම්පත් කළමනාකරණයට දායකත්වය ලබා දේ. “කේත තාක්ෂණය (bar- coding)” මගින් මෙතෙක් හඳුනා නොගත් විශේෂ හඳුනාගැනීම, බෝග විශේෂ වල ජානමය විවිධතාවය ඇගයීම, බෝග විශේෂ වල වැදගත් ලක්ෂණ කෙරෙහි බලපාන ජාන හදුනාගැනීම වැනි පර්යේෂණ කටයුතු මෙහි සිදු කෙරේ.

සංරක්ෂිත ජාන ප්ලාස්ම ලාක්ෂනිකරණයට අමතරව විවිධ නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් පරීක්ෂණ කාර්යන් නව මාර්ගයන් ඔස්සේ විහිදුවමින් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද දෙමුහුම් ප්‍රභේද වල ජානමය පාරිශුද්ධතාවය විශ්ලේෂණය කිරීම, ජීවි හා අජීවී අහිතකර තාවයන්ට ඔරොත්තු දීමට හැකියාව ලබා දෙන ජාන සහිත බෝග ජාන ප්ලාස්ම හඳුනා ගැනිම, එවැනි ජාන පිළිගත් බෝග ප්‍රභේද වලට ඇතුලත් කිරීම සඳහා ශාක අභිජනන කටයුතු ඇරඹීම මගින් බෝග වැඩි දියුණු කිරීමේ වැඩසටහන්වලට දායකත්වය ලබා දීමද අණුක ජීව විද්‍යා ඒකකය මගින් සිදු කෙරේ.