Fruit Crops – Ber-S

1 horana logo

මසං (Ber)

Order : Rhamnales

Family : Rhamnaceae

Genus : Ziziphus Miller

Species : Ziziphus mauritiana Lam.(Local)

Ziziphus jujuba (L.) Gaertn (Exotic)

මසං පුෂ්ප

මසං ඵලය

කොළ, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයෙන් යුතු ඉදුණු මසං ඇඹුල් මිශ්‍ර වූ පැණි රසයකින් යුක්ත වේ. සමහර ඵල පිෂ්ඨමය ස්වාභාවයක් පෙන්නුම් කරන අතර එය මසං ඵලයේ රසය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. විදේශ රටවලින් මෙරටට ආනයනය කොට වගා කරනු ලබන වැඩි දියුණු කළ මසං ප්‍රභේද වල දේශීය විශේෂයන්ට වඩා උසස් ලක‍ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම මසං ඵල ප්‍රමාණයෙන් විශාල වන අතර මාංශලය ඇපල්, පෙයාර්ස් ආදියට සමාන වන රසවත් ආකර්ෂණීය ස්වාභාවයකින් යුත්තය. විටමින් ඒ, බී, සී, වලින් පිරිපුන් මසං ඵල තුනක් ආහාරයට ගැනීමෙන් වැඩුණු මිනිසෙකුගේ එක් දිනක විටමින් සී අවශ්‍යතාවය සැපිරිය හැකි බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. පර්යේෂණ දත්තයන්ට අනුව ශ්‍රි ලංකාවට ආවේණික වූ මසං විශේෂ ඇති බවත් තායිලන්තය, මැලේසියාව ආදී රටවල් වලින් ගෙනෙන ලදැයි සැලකෙන මසං ශාක ගෘහාශි්‍රතව වගා කර ඇති බවත් සොයාගෙන ඇත. දේශීය මසං ගෙඩියක බර ග්‍රෑම් 5-8 ක් වන අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන විදේශීය මසං විශේෂයන්හි ගෙඩිවල බර හා ප්‍රමාණය වඩා විශාල වන අතර ග්‍රෑම් 50-98 ක් පමණ වේ. මෙම මසං සඳහා ජනතාව වැඩි ආකර්ෂණයක් දක්වයි.


ප‍්‍රභේදයේ නම : ගන්නොරුව මසං 2 (අරලගන්විල)

 

 

 

  • දේශීය මසං වලට වඩා ඉහළ ගුණාත්මයෙන් යුතු ඵලයක සාමාන්‍ය බර ග‍්‍රෑම් 10-16 ක් පමණ වන ප‍්‍රභේදයකි.
  • වියළි කලාපයේ සහ තෙත් කලාපයේ හොඳින් වගාකල හැකිය.
  • ඉතා කුඩා ඇපල් ගෙඩියකට සමාන හැඩයෙන් යුතු ඵල ලා කොළ පැහැති වන අතර හොඳින් පැසෙනවිට ලා කොළ කහ පැහැයට හැරෙයි.
  • දේශීය මසං බීජ පැළ වලට බද්ධ කොට සාර්ථකව පැල නිෂ්පාදනය කරගත හැකිය.
  • බඳුන් වගාවට ද ඉතා සුදුසුය.
  • සිටුවා මාස 6 – 8 කින් පමණ ඵල දැරීම ආරම්භ වුව ද හොඳින් ඵල දැරීමට වසර 3 – 4 ක් ගතවේ

ප‍්‍රභේදයේ නම : ගන්නොරුව මසං1 (ඉබ්බාගමුව)

 

 

 

 

  • දේශීය මසං වලට වඩා විශාල ඵල දරයි.
  • ඵලයක සාමාන්‍ය බර ග‍්‍රෑම් 60 – 85 ක් පමණ වේ.
  • ලා කොළ පැහැති ඇපල් ගෙඩියකට සමාන ආකර්ෂණීය පලතුරකි.
  • මාංශලය ඇපල් හෝ පෙයාර්ස් වල රසවත්භාවයට බොහෝදුරට සමානය.
  • දේශීය මසං බීජ පැළ වලට පහසුවෙන් බද්ධ කොට පැළ නිපදවා ගත හැකිය.
  • බද්ධ පැළයක් සිටුවා වසර 2 – 3 කින් පමණ හොඳ අස්වැන්නක් ලබාදෙයි. සාමාන්‍යයෙන් වසරකට කිලෝ ග‍්‍රෑම් 50 – 200 ක පමණ වේ.
  • බඳුන් වගාවට ද සාර්ථකව භාවිතා කල හැකිය.

විදේශීය මසං

(Ziziphus jujuba)

දේශීය මසං

(Ziziphus mauritiana)

දේශගුණික අවශ්‍යතා

තෙත් සහ අතරමැදි කලාපයේත්, වැඩි උෂ්ණත්වයට හා අඩු ජල ප්‍රමාණයට ඔරොත්තු දෙමින් වියළි කලාපයේත් හොදින් වැඩේ. ශුෂ්ක හා අර්ධ ශුෂ්ක කලාපයේ එනම්, සෙන්ටිග්‍රේඩ් අංශක 25-35 දක්වා වූ උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ වල හොඳින් වැඩේ. වර්ෂාපතනය මි.මී. 400 ක් පමණ ප්‍රමාණවත් වුවද ඉහළ උස්බිම් වල වැඩි වර්ෂාපතනය අහිතකර ලෙස බලපායි. මෙහිදී මසං ශාකයේ ඵල හට ගැනීම අඩු වේ. මසං ශාකය වියළි කලාපීය අධික උෂ්ණත්වය හා අඩු වර්ෂාපතනය දරා ගැනීම සඳහා අවශ්‍ය අනුවර්තන රාශියකින් යුක්ත වේ. දිලිසෙන සුළු යටි පෘෂ්ඨයක් හා බූව සහිත පත්‍ර, කටු සහිත කඳ, දිග මුදුන් මුල් පද්ධතිය මේ අතරින් සමහරකි. මෙම ලක‍ෂණ හේතු කොට ගෙන දිගු වියළි කාලයන්හිදී නොනැසී සිටීමට මෙම ශාකයට හැකියාව ලැබී ඇත.

ශ්‍රි ලංකාවේ මසං ශාකයේ ව්‍යාප්තිය සොයා බැලීමේදී කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මාතලේ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්ක වල මෙය බහුලව දක්නට ලැඛෙන බව තහවුරු විය. මුහුදු මට්ටමේ සිට මීටර් 1,000 ක් දක්වා වූ හොඳින් ජල වහනය වන පසේ මෙම ශාකය හොඳින් වැඩේ.

ප්‍රචාරණය

බීජ පැළ කිරීමෙන් සිටුවීම සඳහා පැළ ලබාගත හැකිය. බීජ තද ආවරණයකින් යුක්ත නිසා බීජ පැළ නිෂ්පාදනයේදී තද බීජාවරණය ඉවත් කොට එහි මධ්‍යස්ථයේ ඇති මෘදු බීජ සිටුවීමෙන් වඩා සාර්ථකව පැළ නිෂ්පාදනය කරගත හැක.

වඩා සුදුසු මව් ශාකයකින් ලබා ගන්නා අනූජ බීජ පැළ වලට බද්ධ කිරිමෙන් ගුණාත්මක පැළ නිෂ්පාදනය කළ හැකිය. මෙහිදී කූඤ්ඤ බද්ධය සාර්ථකව භාවිතා කළ හැකිය. අතු කැබලිසිටුවීමෙන් ද පැළ නිෂ්පාදනය කළ හැකි නමුත් අඩු සාර්ථකත්වයක් ලැබේ.

මසං බද්ධ පැළයක්

මසං බීජ පැළයක්

වගා කිරීම

හොඳින් ජලය බැස යන, මැටි ප්‍රතිශතය අඩු පසක් සහිත භූමියක මෙන්ම බඳුන්වල ද මසං වගා කළ හැකිය. වගා කිරීමේදී පලතුරක් ලෙස භාවිතයට ගැනීමට නම් උසස් වර්ගයේ ප්‍රභේදයක් හෝ එවැනි තෝරාගත් මව් ශාකයකින් වර්ධක ප්‍රචාරණයෙන් සකස් කරගත් පැළයක් සිටුවීම වඩා වැදගත්ය. සෙවණ ශාකයක් ලෙස හෝ සත්ත්ව ආහාර ලෙස ප්‍රයෝජනයට ගැනීමට නම් බීජ පැළ සිටුවීම සුදුසුය.

භූමියක සිටුවීමේදී පේලි සහ පැළ අතර පරතරය මීටර් 5-6 ක් පමණ තැබීමත් අනිකුත් පලතුරු විශේෂ සිටුවීමේදී අනුගමනය කරනු ලබන පිළිවෙලට අනුව පැළ සිටුවීමත් අනතුරුව පැළය ස්ථාවර වනතුරු නිසි පරිදි ජලය හා සෙවන සැපයීමත් අවශ්‍ය වේ. එමෙන්ම පැළයේ නිරෝගී හා ඉක්මන් වර්ධනය සඳහා පලතුරු සඳහා නිර්දේශිත රසායනික පොහොර හා කාබනික පොහොර ද අවශ්‍යතාවය පරිදි යෙදීම වැදගත් වේ.

බඳුන් වගාවකදී සිමෙන්ති හෝ ප්ලාස්ටික් ආදී බඳුන් භාවිතා කළ හැකිය. විෂ්කම්භය අඩි 1 1/2 ක් පමණ හා උස අඩි 2 ක් පමණ වූ හෝ ඊට වඩා විශාල සිමෙන්ති පෝච්චිද ලීටර් 35 ක් පමණ ප්‍රමාණයේ ප්ලාස්ටික් බඳුන්ද මේ සඳහා සුදුසු වේ. නිර්දේශිත ක්‍රමවේදයන්ට අනුව මනා ජල වහනයක් ඇති වන පරිදි මනා තෙතමනයක් පවතින පරිදි ද මතුපිට පස්, වැලි හා කාබනික පොහොර මිශ්‍රණයකින් මෙම බඳුන් පුරවා පැළ සිටුවා ගැනීම කළ යුතුය. හොඳ නඩත්තු තත්ත්ව යටතේ බඳුනක සිටුවාගත් වැඩි දියුණු කළ මසං ප්‍රභේදයක් මාස 6 සිට වසරක් පමණ කෙටි කාලයක් තුළ ඵල දැරීම ආරම්භ කරනු ලබයි. මෙය බැල්කනි වගාවක් ලෙස ඉතා සුදුසුය. එමෙන්ම ගෙමිදුලට ඉතා සුදුසු අලංකාර පලතුරු ශාකයකි.

මසං බඳුන් වගාවක්

අස්වැන්න

දේශීය මසං විශේෂයන්හි බීජ පැළ සිටුවා වසර 3-4 කින් ඵල හට ගනී. සිටුවා වසර 10 කට පමණ පසු උපරිම නිෂ්පාදනයක් ලබාගත හැකිය. සාමාන්‍ය අස්වැන්න කි.ග්‍රෑම් 50-200 (ගෙඩි 2500-10000) පමණ වේ.

මසං ගස අවුරුද්දට දෙවතාවක් පමණ ඵල දරණ අතර එකම කාලයේ මල් වලට අමතරව නොමේරූ ඵල හා ඉදුණු ඵලද දැකගත හැකිය. අවුරුද්ද පුරාම සුළු වශයෙන් හෝ ඵල දරන මසං ශාකද දක්නට ඇත.

මසං අගෝස්තු සැප්තැම්බර් හා අප්‍රේල් මැයි කාලවලදී ඵල දරයි. අවාරයේ ඵල දරන ශාක ද දක්නට ලැඛෙන අතර ඵල දරන කාලසීමාවන් එක් එක් ප්‍රදේශ වලදී සුළු වශයෙන් වෙනස් වන බව දක්නට ලැබිණ. කෙසේ වුවද Ziziphus jujube වැඩි දියුණු කළ මසං ශාක බඳුන් වගාවක් ලෙස නඩත්තු කිරීමෙන් වසර පුරා ඵලදාව ලබාගැනීමේ හැකියාවක් ඇති බව පර්යේෂණ ම`ගින් පැහැදිලි වී ඇත.

රෝග හා පළිබෝධ

ශ්‍රි ලංකාවේ තදබල ලෙස මසං සඳහා රෝග වලින් බලපෑම් ඇති බවට මෙතෙක් වාර්තා වී නැත. එහෙත් මසං ගෙඩි වලට පලතුරු මැස්සාගෙන් තදබල ලෙස හානි සිදුවේ. එසේම මල් හා දළු හකුලන දලඹුවාගේ හානියද වැදගත්වේ. පලතුරු මැස්සා සහ පොතු කන දළඹුවා, රසායනිකව හා ජෛව විද්‍යාත්මකව මර්දනය කළ හැකිය.

පලතුරු මැස්සාගේ හානිය

       



Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)