ETC-agri.school-Pelwehera – si

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය - පැල්වෙහෙර

පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය 1980 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවන ලදි. එය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ආරම්භයේදී මෙම නේවාසික පාඨමාලාවට ලෙස ශිෂ්‍යයන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් කර ගනු ලැබීය. මෙම ආයතනය පිහිටු වීමේ ප්‍රධාන අරමුණ ලෙස වියළි කලාපීය ගොවි ජනතානගේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට දායක විය හැකි කෘෂිකාර්මික පුහුණුවලත් මධ්‍යම මට්ටමේ මිනිස් බලය අඛණ්ඩව සැපයීම දැක්විය හැකිය. පවතින භෞතික සහ මානව සම්පත් ප්‍රමාණය පුළුල් කිරීමත් සමග පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය විසින් බෝග නිෂ්පාදනය, උද්‍යාන බෝග,  සත්ත්ව පාලනය, කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව, ආහාර විද්‍යාව හා තාක්ෂණය, පැළෑටි සංරක්ෂණය, ගොවිපල කළමනාකරණය, කෘෂිකාර්මික විකුණුම් හා අලෙවි කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳ දැනුම සහ කුසලතා මෙන්ම වෘත්තීය නිපුණතා සහිත කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් 100ක් පමණ වසරකට බිහි කරමින් ඇත. වර්තමානය වන විට, ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු මැද, බස්නාහිර, සහ වයඹ යන පළාත්වලින් ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් දෙපාර්ශ්වයම විද්‍යාලය සඳහා ඇතුළත් කරගනු ලැබේ. එසේම, පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය 1998 සිට ශ්‍රී ලංකාවේ පිළිගත්  පුහුණු ආයතනයක් ලෙස තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමය (NVQ), 2013 වසරේ සිට හඳුන්වා දෙන ලදී. වර්තමානය වන විට 200ක සිසුන් කණ්ඩායමක් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් 5 සහ 6 මට්ටමේමොඩියුල ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගනු ලැබේ. තවද, කෘෂිකර්ම විද්‍යාලීය ගොඩනැගිලි පරිශ්‍රය හෙක්ටයාර 10ක් පමණ වේ. සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා භාවිත කළ හැකි විද්‍යාලයීය ගොවිපල හෙක්ටයාර 52කින් පමණ සමන්විත වේ. මෙම ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආයතන සංකීර්ණයේ පිහිටා ඇති බැවින් නියෝජ්‍ය අධ්‍යක්ෂ (බීජ) කාර්යාලයෙන්, බීජ ගොවිපලෙන්, ගබඩාවෙන් සහ පැල්වෙහෙර බීජ සහතික කිරීමේ සේවාවෙන් භෞතික හා මානව සම්පත් හුවමාරු කර ගැනීම තුළින් සිසුන්ට වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගත හැකිය. තවද, මෙම ආයතනය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ග්‍රාමීය ගොවි ප්‍රදේශයක පිහිටා තිබීම නිසා අපේක්ෂකයින් හෝ පුහුණුලාභීන් හට වඩා හොඳ අත්දැකීම් ලබා ගැනීමට හැකි වී ඇත.

මෙහෙවර

තිරසාර කෘෂිකර්මාන්ත සංවර්ධනය තුළින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කරලීම සඳහා මධ්‍යම මට්ටමේ කළමනාකරණ කුසලතා සහිත තරුණ කෘෂිකාර්මික තාක්ෂණ ශිල්පීන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට දායාද කිරීම.

අරමුණ

  • ක්ෂේත්‍රයට මධ්‍යම මට්ටමේ කෘෂිකාර්මික කළමනාකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උසස් කෘෂිකාර්මික තාක්‍ෂණයෙන් යුත් කෘෂිකාර්මික ඩිප්ලෝමාධාරීන් බිහිකිරීම හා සැපයීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා දෙමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් ජාතික ඩිප්ලෝමාධාරී සිසුන් බිහිකිරීම හා සැපයීම.
  • අවශ්‍ය පරිදි කෘෂිකාර්මික තාක්ෂණය ගොවි ජනයා සඳහා බෙදා හැරීම.

ක්‍රියාකාරකම්

  • වාර්ෂිකව සිසුන් 100ක් සඳහා වසර 2 ½ ක කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම.
  • සිසුන්ට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීමට කෘෂිකර්ම විද්‍යාලීය ගොවිපලෙහි කෘෂිකාර්මික තාක්ෂණය භාවිතය සහ පවත්වාගෙන යාම.
  • සිසුන්ට යාවත්කාලීන වූ නව දැනුම ලබා ගැනීම සඳහා අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීම.
  • සිසුන් සඳහා අඛණ්ඩ ඇගයීම් සහ සාමාසික අවසාන විභාග පැවැත්වීම.
  • කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කාර්මික දැනුම සහ කුසලතා ලබා ගැනීමට රැකියස්ථ පුහුණුව සඳහා සිසුන් හට පහසුකම් සැපයීම.
  • තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 6 ලබා ගැනීම සඳහා නිපුණතා පදනම් කරගත් ඇගයීම් සඳහා සිසුන් සූදානම් කිරීම.
  • කණ්ඩායම් සහජීවනය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සහ ධනාත්මක චින්තනය සඳහා සිසුන් පෙළඹවීම.
  • සමාජ සුභසාධන කටයුතු වල යෙදීම සඳහා වැඩ සටහනක් සංවිධානය කිරීම.

සේවාවන්

රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය මධ්‍යම මට්ටමේ මානව සම්පත බිහි කිරීම උදෙසා කාර්යක්ෂම සහ ඵලදායී මධ්‍යම මට්ටමේ කෘෂිකාර්මික අධ්‍යාපනයක් ලබා දීම පැවරී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය පුහුණු සංවිධානයක් ලෙස පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය හැඳින්විය හැකි ය. මීට අමතරව පහත සඳහන් සේවාවන් ද පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය මඟින් සපයනු ලැබේ.

  • ඩිප්ලෝමාධාරීන් සඳහා රැකියා අවස්ථා පිළිබඳ දැනුම
  • ඉල්ලීම් කරන අවස්ථා වලදී පාසල් සිසුන්ට සහ වෙනත් කෘෂිකර්ම ආයතන වල සිසුන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබා දීම
  • අවශ්‍ය අවස්ථා වලදී ගොවීන්ගේ ක්ෂේත්‍ර ගැටලු විසඳීමට සම්බන්ධ වීම
  • කෘෂිකාර්මික අංශයේ නියුක්තව සිටින ජනතාවට ක්ෂේත්‍ර දින, ප්‍රදර්ශන සහ ආදර්ශ ගොවිපල නැරඹීමට අවස්ථාව ලබා දීමෙන් ඔවුන්ගේ දැනුම හා කුසලතාවන් ඉහළ නංවා ගැනීමට අවස්ථා ලබා දීම.
  • කෘෂිකර්මාන්තය හා සම්බන්ධ පාඨමාලා හැදෑරූ සිසුන් සඳහා රැකියස්ථ පුහුණුව සඳහා අවස්ථා ලබා දීම.

 

 

ඡායාරූප එකතුව

24-512

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ / විදුහල්පති

ඩි.ආර්. කාංචන මහතා

අප අමතන්න